ⓘ 1955, ජූනි 20 සූර්ය ග්‍රහණය. පූර්ණ සූර්ය ග්‍රහණයක් 1955, ජූනි 20 දින ඇති විය. සූර්ය ග්‍රහණයක් ඇතිවන්නේ චන්ද්‍රයා, පෘථිවිය සහ සූර්යයා අතරින් ගමන් කරන විට එමගින්, ..

                                     

ⓘ 1955, ජූනි 20 සූර්ය ග්‍රහණය

පූර්ණ සූර්ය ග්‍රහණයක් 1955, ජූනි 20 දින ඇති විය. සූර්ය ග්‍රහණයක් ඇතිවන්නේ චන්ද්‍රයා, පෘථිවිය සහ සූර්යයා අතරින් ගමන් කරන විට එමගින්, පෘථිවියට සූර්යයා දර්ශනය වීම පූර්ණ ලෙසින් හෝ අර්ධ ලෙසින් හෝ වැලැක්වීම නිසාවෙනි. පූර්ණ සූර්ය ග්‍රහණයක් ඇතිවන්නේ, චන්ද්‍රයාගේ දෘශ්‍ය විෂ්කම්භය සූර්යයාට වඩා විශාල වූ විට, සියළු සෘජු සූර්යාලෝකය වලක්වමින්, දහවල් කාලය අඳුරු කිරීමෙනි. පෘථිවියෙහි පෘෂ්ඨය වටා පටු පෙතක පූර්ණත්වය ඇතිවන අතර, කිලෝමීටර දහස්ගණනක් පළල කලාපයක් තුල අර්ධ සූර්ය ග්‍රහණය දර්ශනය වෙයි.

උපරිම කාල සීමාව විනාඩි 7 තත්පර 8 ක් වීමෙන්, මෙය 136 ශ්‍රේණියෙහි විශාලතම සූර්ය ග්‍රහණය වෙයි.

                                     

1. ලංකාවට දර්ශනය වූ අයුරු

සූර්ය ග්‍රහණය ඇතිවූ කාල සීමාවේදී මුළු ලංකාවම අඳුරු වී ඇත. සත්වොද්‍යානයෙහි ව්‍යාඝ්‍ර. ඇත්, පක්ෂී ආදී සියළු සතුන් අමුතු හඬ නැගීමට පටන්ගෙන ඇත. කපුටන් ආදී පක්ෂීන් සවස් කාලය ඇතිවී යැයි සිතාදෝ උන්ගේ කූඩු වෙත පැමිණීමට පටන් ගෙන ඇත.

                                     

2. මිථ්‍යා විශ්වාස

සූර්ය ග්‍රහණය ඇති වූ කාලසීමාවෙහිදී වදකහ යුෂ පානය කිරීමෙන් ඡවි කල්‍යානය ලැබෙන බවට සමහරක් නක්ෂත්‍රවේදීන් විසින් පලකල අනාවැකි නිසාවෙන් බොහෝ ස්ත්‍රී-පුරුෂයන් එසේ කල බවට වාර්තා වේ. සූර්යග්‍රහණය පහවීමත් සමගම ලංකාවේ රෝහල් පුරා වමනය-පාචනය ආදී උදරාබාධ රෝගීන්ගෙන් පිරී යෑමට මෙය හේතු වූ බව කියැවේ.

                                     

3. ජාත්‍යන්තර නිරීක්ෂණ

සූර්ය ග්‍රහණය නිරික්ෂණය කිරීමට හා ඒ අවස්ථාවේදී සූර්යයාගේ රැස් වළල්ලෙහි ඡායාරූප ගැනීමට බොහෝ විදෙස් නිරීක්ෂණයන් ලංකාවට පැමිණ ඇත. කොළඹ, හිඟුරක්ගොඩ ආදී ස්ථාන වල මෙම නිරීක්ෂණ කටයුතු සිදුවී ඇති අතර වළාකුළු සහිත වූ අහස නිසාවෙන් මෙම කටයුතු එතරම් සාර්ථක වී නොමැත. ලංකා කණ්ඩායම මෙහෙයවා ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයෙහි මහාචාර්යය ඒ. ඩබ්. මයිල්වාගනම් මහතා විසිනි. ලංකාවේ හිඟුරක්ගොඩ නගරය මෙම නිරික්ෂණ කටයුතු සඳහා තෝරාගෙන ඇත්තේ පූර්ණ සූර්ය ග්‍රහණය දර්ශනය වන පෙතට ඉතාමත් කිට්ටු ස්ථානයක් ලෙස හඳුනාගෙන තිබීම නිසාවෙනි. නිරීක්ෂණ අතුරින් ප්‍රකාශ නිරික්ෂණ අසාර්ථක වී ඇත්තේ වළාකුළු සහිත කාළගුණය නිසාවෙනි. කෙසේවෙතත්, භූ-චුම්බක, අයනගෝලීය සහ රේඩියෝ-තාරකා විද්‍යාත්මක නිරීක්ෂණයන් සාර්ථක ලෙසින් සිදු කර ඇත.

                                     

4. වෙනත් රටවල දී සිදුකරන ලද නිරික්ෂණ

වියට්නාම රාජ්‍යයේ, කික්යුඉක් බොක්කේ, හහාප් වෙරළෙහි තවත් ප්‍රධාන නිරික්ෂණ මාලාවක් සිදුකොට ඇත. එහි කටයුතු කර ඇත්තේ ජපාන ජලමාන කාර්යාලයයෙහි, එන්. ඔවාකි මහතාය. කාලගුණය හොඳින් පැවැති හෙයින්, මෙහිදී පූර්ණ සුර්ය ග්‍රහණය මධ්‍යයෙහි සූර්යයාගේ රැස් වළල්ල සෘජු ඡායාරූපයන්ට හසු කර ගැනුමට ජපාන විද්‍යාඥයින් සමත් වී ඇත.